දකුණු ආසියාවේ විශාලතම යාපනය පුස්තකාලය ගිණි තබා වසර 43යි!
ලාංකේය දේශපාලනයේ තවත් අතිශය නින්දිත, තිරශ්චීන ක්‍රියාන්විතයක් 1981 ජූනි මස සිදු කරන ලදි. ජේ ආර් ගේ පාලනය තුළ ජාතිවාදී ගින්නෙන් ගිනියම් වූ මෙරට ජාතිවාදියෝ එම ගින්නෙන්ම දකුණු ආසියාවේ අගනා හා විශාලතම පුස්තකාලය ලෙස සැළකෙන යාපනය පුස්තකාලය ගිණි තැබූහ. ඇතැමුන් මෙය එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් සිදුකරන ලද්දක් බව හුවා දැක්වීමට උත්සාහ කළ ද මෙරට පාලනය කළ ජේ ආර් ආණ්ඩුවේ ප්‍රමුඛතම නියෝජිතයින් මෙයට සම්බන්ධ වූ බවද එවක පාලකයින්ගේ අනු දැනුම මත මෙය සිදුකරන ලද බව ලෝකයම දනී.
මෙ රටේ ම ජීවත්වන තවත් ජාතියකගෙන් පළිගැනීම සඳහා දේශයේ මහා සාහිත්‍ය කේන්ද්‍රය ජාතිවාදී උන්මත්තකයෝ අළු කර දැමූහ. ශ්‍රී ලාංකීය ජාතියේ හදවත වේදනාවට පත් කළහ. “මේ අධමයෝ ශ්‍රී ලාංකීය ජාතියේ හදවත සිදුරු කළා ” යැයි මෙම සිද්දිය සිහිපත් කරන ලද එක් අවස්ථාවක මහාචාර්‍ට්‍ය වික්‍රමබාහු කරුණාරත්න සහෝදරයා කියා සිටියේය.
මෙම ක්‍රියාන්විතය දියත් කරන ලද්දේ 1981 වසරේ පැවැත්වීමට නියමිතව තිබූ ඊනියා සංවර්‍ධන සභා ඡන්දයට පූර්‍ව සූදානමක් හැටියටය.විවිධ රටවලව, ආයතනවලින් හා පුද්ගලයින් විසින් පරිත්‍යාග කරන ලද විවිධ විෂයයන් සම්බන්ධයෙන් ලියැවුණ ග්‍රන්ථ 97000 කට අධික සංඛ්‍යාවක් මෙහි තිබුණ බව කියැවේ.
යාල්පානවෛපවමාලයි, මනිමේකලෛ වැනි සම්භාව්‍ය ද්‍රවිඩ ග්‍රන්ථවල අත් පිටපත් හා පුස් කොළ පොත්ද මෙහි තිබුණ බව පැවසේ. රොබට් නොක්ස් හා විදෙස් සංචාරකයින් විසින් ලංකාව ගැන රචිත මාහැඟි ග්‍රන්ථවල මුල් පිටපත් ද ඒ අතර තිබූ බව සඳහන් වේ. මේ පුස්ථකාලය දෙස් විදෙස් සංචාරකයන් හා ඉතිහාසඥයින් විසින් දකුණු ආසියාව හා ලක්දිව පිළිබඳව සටහන් තැබූ කෘතීන් හා ලිපි ලේඛන රැසකින් සමන්විත වූ කෝෂ්ඨාගාරයකි.
දකුණු ආසියාවේ ද්‍රවිඩීය සාහිත්‍යයට අයත් ලිපි ලේඛණ ගණනාවක්ද මෙම පුස්තකාලයේ තිබී ඇත. මෙහි වඩාත්ම දුර් දාන්ත ක්‍රියාව වන්නේ මෙවැනි ලේඛණ විශේෂයෙන් සොයා බලමින් විනාශ කර තිබීමයි.
එම ලිපි ලේඛණ හා පොත් පත් කුමන ජාතියකට කුමන සංස්කෘතියකට අයත් වුවත් ඒ තුළ විශාල ඓතිහාසික හා පුරා විද්‍යාත්මක තොරතුරු රැසක් අන්තර්ගත වී තිබුණි. මිථ්‍යා විශ්වාස, ජන ප්‍රවාද, වැඩවසම්වාදී සමාජ තොරතුරු ඒවායේ ඇතුලත් වුවද එම ලේඛන කිසියම් සමාජ පසුබිමක මානව වර්‍ගයාගේ සමාජ ප්‍රකාශනයෝ වෙති. ඒ හැරුණු විට නව සමාජීය දැනුම් සම්භාරයක් ද එහි විය. ඉතිහාසයේ දීර්‍ඝ කාල පරිච්ඡේදයක මහා මිනිස් සංස්කෘතියක තොරතුරු පැය කීපයකදී විනාශ කර දැමීමට මෙම අමනෝඥ පිරිස් කටයුතු කරනු ලැබූහ.
ජාතිවාදයෙන් අන්ධ වූ මොවුහු, මෙම ලේඛනවල වටිනාකම අවධානයට ලක් නොකළහ. මේ මහා විනාශය ගැන කරුණු දක්වන තවත් මාධ්‍යකරුවෙක් කියා සිටියේ ආනන්ද කුමාරස්වාමි වියතාණන් විසින් සම්පාදනය කරන ලද ග්‍රන්ථ හා ලිපි ලේඛන රාශියක් පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරමින් සහමුලින්ම ඒවා විනාශ කර තිබූ බවයි. ඔහු ද්‍රවිඩයෙකු වීම ම මීට හේතු වූවාට සැක නැත. එසේ විනාශ මුඛයට ඇද දැමුවේ එම ප්‍රාඥයා විසින් දිගු කාලීන පරීක්ෂණවල යෙදෙමින් සමාජයට දායාද කළ චින්තන එකතුවකි. එම අගතිගාමිත්වයේ ගැඹුර කොතෙක්ද යන්න ඉන් ඉතා පැහැදිලිය.
පුස්තකාලයේ විනාශ වූ ගොඩනැගිල්ල ද විශාල මුදලක් වැය කර අවස්ථා කීපයකදී ප්‍රතිසංස්කරණය කරන ලදි. එය මෙරට සමස්ත ජනතාවගේ සාහිත්‍යය නිකේතනයේ අභිමානය කියා පාමින් නැගී සිටී. නමුත් විනාශ වූ අගනා ග්‍රන්ථ හා ලියවිලි එහි මූලික ස්වරූපයෙන් නැවත කිසි දිනෙක හමු නොවේ. මෙම විනාශයේ බරපතල ස්වරූපය වන්නේ එයයි. බුර බුරා නැගුනු ජාතිවාදයේ රුදුරු ගිණි දැල් යාපනය පුස්තකාලය දවා හළු කිරීමෙන් නිවී ගියේ නැත. සිදු වූයේ එය තවත් තියුණුව මතුවීම පමණකි. එම කෘර ක්‍රියාන්විතයෙන් ද්‍රවිඩ ජනතාවගේ බිඳුණු සිත් සංසිඳුණේ නැත. සිදුවූයේ තව තවත් බිඳී යාමකි. එම වේදනාව දැනුණේ දෙමළ ජනතාවගේ සිත්වලට පමණක් නොවේ. සමස්ත ලාංකීය ප්‍රබුද්ධ ජනතාවගේ හදවත්වලට ය.
මොරටුවේ ප්‍රියන්ත සිල්වා