විශේෂාංග

ආණ්ඩුව තුන්කඩ වෙයි! අපේක්ෂකයන් තුන්දෙනෙක්!

ඉදිරි ජනාධිපතිවරණයේදී වත්මන් ආණ්ඩු පක්ෂය අපේක්ෂකයන් තුන්දෙනෙක් ලෙස බිදී විසිරී යෑමේ තත්වයක් උදා වී තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ දේශපාලන වශයෙන් තමන්ගේ කණ්ඩායම එක් කොට තබාගැනීමට අසමත්ව ඇති පසුබිමක, ආණ්ඩුව තුළ සිටින කණ්ඩායම් අතර අභ්‍යන්තර ගැටුම් පවතින බවත්, ඒකාබද්ධව ඉදිරි මැතිවරණයට ඉදිරිපත් වීමට නොහැකි වී තිබෙන බවත් වාර්තා වන අතර, රනිල් වික්‍රමසිංහ, විජයදාස රාජපක්ෂ සහ ධම්මික පෙරේරා යන අපේක්ෂකයන් තිදෙනෙකු ආණ්ඩුව පාර්ශ්වයෙන් ඉදිරිපත් වීමට නියමිත බවත් වාර්‍තා වේ.

මේ වන විට රාජපක්ෂ පවුලේ සාමාජිකයන් ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහගේ ප්‍රචාරක යාන්ත්‍රණයට සම්බන්ධ නොවිය යුතු බව ආණ්ඩුවේම ඇතැම් පිරිස් විසින් ප්‍රකාශ කර තිබීම නිසා, පොහොට්ටුව නොමැතිව ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ලෙස බැසිල් රාජපක්ෂ ප්‍රකාශ කර ඇත.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිල වශයෙන් රනිල් වික්‍රමසිංහගේ ප්‍රචාරණ ව්‍යාපාරයට සම්බන්ධ නොවූවද, එම පක්ෂයට තනිවම ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමද අභියෝගයක් වී තිබෙන බවත්, එසේ වුවහොත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සැලකිය යුතු පිරිසක් කණ්ඩායම් වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රචාරණ යාන්ත්‍රණයට ස්වාධීනව සම්බන්ධ වීමට ඉඩ තිබෙන බවත් වාර්‍තා වේ. එම තත්වයට ප්‍රතිචාර ලෙස ධම්මික පෙරේරාව යෝජනා වී තිබේ.

පසුගිය සතියේ ආන්දෝලනාත්මක ලෙස ආණ්ඩුවේ රැස්වීමකදී ඇති වූ ගැටුම්කාරී තත්වය මත මෙම තත්වය උදා වී තිබේ.

ශ්‍රීලනිපය නියෝජනය කරමින් ආණ්ඩුව තුළ කටයුතු කරන නිමල් සිරිපාල ද සිල්වා, දුමින්ද දිසානායක ඇතුළු කණ්ඩායමත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සිටි ප්‍රසන්න රණතුංග, නිමල් ලාන්සා ඇතුළු පිරිසත් රාජපක්ෂ පවුලේ සාමාජිකයන් ඉදිරි මැතිවරණයේදී රනිල් වික්‍රමසිංහගේ වේදිකාවට ඍජුව ගොඩ නොවිය යුතු බව ප්‍රකාශ කර තිබේ.

රාජපක්ෂ පවුලේ සාමාජිකයන් සහ ඔවුන්ගේ හිතවතුන්, වෙනම වේදිකාවක් තුළ සිට ජනාධිපතිවරයාට සහයෝගය දිය යුතු බව එහිදි ප්‍රකාශ කර ඇත. මෙයට ප්‍රතිචාර ලෙස ඒ අයුරින් ‘එළියේ සිට‘ සහයෝගය දැක්වීමට තමන් සූදානම් නැති බව බැසිල් රාජපක්ෂ ප්‍රකාශ කර තිබේ. නාමල් රාජපක්ෂ ඇතුළු පිරිස් ඉදිරි ජනාධිපතිවරණයේදී තනිව ඉදිරිපත් වෙන ලෙසට බලපෑම් කරද්දී, තමන් ඇතුළු පාර්ශ්ව ජනාධිපතිවරයාට සහයෝගය දැක්වීම සලකා බැලූ බවත්, තමන්ගේ සහයෝගය අවශ්‍ය නැති නම් තනිව ඉදිරිපත් වන බවත් බැසිල් රාජපක්ෂ එහිදී කියා තිබේ.

‘බොහොම හොදයි, ඔබතුමාලා ඔය සන්ධානය ඔහොමම හදාගෙන යන්න. මට පේනවා ඔය වේදිකාවට රාජපක්ෂලා එන එක ඔබතුමාලාට ප්‍රශ්නයක් කියලා. පොහොට්ටුව ලකුණ ඔබතුමාලාට ප්‍රශ්නයක් කියලා. හැබැයි අපට පක්ෂයක් තියෙනවා. ඒ පොහොට්ටුව. අපි ඒ පක්ෂයත් එක්ක ඉස්සරහට යන්නම්. ඔබතුමාලා ඔබතුමාලාගෙ ඔය වැඩ ටික ඉස්සරහට කරගෙන යන්න.‘ ආදී වශයෙන් බැසිල් රාජපක්ෂ ප්‍රකාශ කර තිබේ.

‘ඔහේට අපි එක වතාවක් එපා නම්, අපට ඔහේ සිය වතාවක් එපා.‘ කියාද බැසිල් රාජපක්ෂ කියා තිබේ.

එයට ප්‍රතිචාර ලෙස, ජනාධිපතිවරයා සහ ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා පොහොට්ටුව නැතිව ඉදිරියට යා නොහැකි බව ප්‍රකාශ කිරීමට උත්සාහ කර තිබුණත්, දෙපාර්ශ්වය අතර ගැටලුකාරී තත්වය දිගටම පැවතීමට නියමිත බව වාර්තා වේ.

කෙසේ වෙතත්, පසුගිය කාලය පුරා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් විශාල පිරිසක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග කටයුතු කර ඇති පසුබිමක, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තනිව ඉදිරිපත් වුවහොත්, ඒ සමග මන්ත්‍රීවරුන් විශාල පිරිසක් සම්බන්ධ නොවීමට ඉඩ ඇතැයි වාර්තා වේ.

එයට ප්‍රධාන හේතුව, පසුගිය කාලයක් පුරා රාජපක්ෂ පවුලේ සාමාජිකයන් විශාල අපකීර්තියකට පත්ව සිටීමත්, පොදුජන පෙරමුණ සමග සම්බන්ධ වුවහොත් මන්ත්‍රීවරුන්ගේ දේශපාලන අනාගතය විනාශ වනු ඇතැයි විශ්වාසයක් පැවතීමත්ය. ජනාධිපති රනිල් වික්‍රමසිංහට ඊට වඩා ජනතා සහයෝගයක් ලැබීමට හැකිවනු ඇතැයි ඇතැම් මන්ත්‍රීවරුන්ගේ විශ්වාසය වී තිබේ.

මෙයට විකල්පය වන්නේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන, ව්‍යාපාරික ධම්මික පෙරේරා බවටද අදහසක් පළ වී තිබේ. ඔහු ජනාධිපතිවරණ අපේක්ෂකයා වුවහොත්, මුදල් වියදම් කිරීමට ඇති හැකියාවත්, යම් දුරකට ජනතා විශ්වාසය දිනාගැනීමේ හැකියාවත් ඇතැයි විශ්වාසයක් පළ වී තිබේ. රනිල් වික්‍රමසිංහට අභියෝග කළ හැකි අපේක්ෂකයා ධම්මික පෙරේරා බවට යෝජනාව වී තිබේ. මේ අතර ධම්මික පෙරේරා සිය ඩී.පී. එඩියුකේෂන් නම් වැඩසටහන ප්‍රවර්ධනය කිරීමට විශාල මුදලක් වැය කරන අතර, එම වැඩසටහන්වලදී දේශපාලන තත්වය පිළිබද අදහස් පළකිරීම්ද සිදු කර තිබේ.

මේ වන විට විජයදාස රාජපක්ෂ ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන බව ප්‍රකාශ කර තිබේ. මේ වන විට ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස පත් කර තිබේ. කෙසේ වෙතත්, තවමත් විජයදාස රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේන පාර්ශ්වය පක්ෂයේ නිත්‍යානුකූල අයිතිය පිළිබද ගැටලුව විසදාගෙන නොමැති අතර, මැතිවරණයට ඉදිරිපත් වීම ස්ථීර කෙරෙනු ඇත්තේ ශ්‍රීලනිපයේ අයිතිය පිළිබද ගැටලුව විසදාගැනීමෙන් පසුවය.

 

තරිඳු උඩුවරගෙදර විසිනි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *