කාල් මාක්ස්ගේ නොදැවුණු ද්විත්ව ශතකය
ලොව පුරා සූරා කෑමට ලක්වන නිර්‍ධනයින්ට ‘දිනා ගැනීමට ලෝකයක් ඇත’යන්න සමාජ විද්‍යාත්මක දැක්මකින් හෙළි කළ ‘කාල් මාක්ස් ‘නමැති චින්තකයා මෙලොව ජන්ම ලාභය ලැබ වසර 206 කි. මානව චින්තනයේ එක් කාල පරිච්ඡේදයක ඔහු තැබූ පිය සටහන් ශිෂ්ඨාචාරයේ නව නැම්මක් ඇති කිරීමට සමත් විය. සැළකිය යුතු කාල පරිච්ඡේදයක් ගත වුවද ඔහුගේ මතවාදයන් අද දින ද සාකච්ඡාවට ලක් වන්නේ ඒ නිසාය.
මිනිස් ඉතිහාසයේ ගලායාම චින්තනය මතම සිදු වූවක් නොව එහි වර්‍ධනයට සමාජ ක්‍රියාවලිය හේතුවූ බව ඔහු ප්‍රකාශ කළේය. භෞතිකයේ පැවැත්ම මානව චින්තනයට වඩා පැරණි යැයි ඔහු කියා සිටියේය. ඔහුගේ මෙම අදහස් එවක සමාජයේ මුල් බැස තිබූ සංකල්ප සලිත කිරීමට හේතු විය.
1848 වර්‍ෂයේදී ෆෙඩ්රික් එංගල්ස් නමැති විද්වතා සමග එකතුව ප්‍රකාශයට පත්කරන ලද ‘ කොමියුනිස්ට් ප්‍රකාශනය’නමැති මාහැඟි ලියැවිල්ල වැඩකරන ජනතාවගේ දේශපාලන දැක්ම හැටියට අද දින ද ලෝක කම්කරු ජනතාවගේ සම්භාවනාවට පාත්‍ර වේ. ‘වැඩකරන ජනතාවට දේශපාලනයක් ඇත’ යන අදහස සමාජ විද්‍යාත්මක දැක්මකින් හෙළි කළ ලේඛණය මෙයයි.
වත්මනෙහි අප ගත කරන සමාජ ආර් ථික පරිශ්‍රය දීර්‍ඝ කාලීන ඓතිහාසික, භෞතික ක්‍රියාවලියක ප්‍රතිඵලයක් මිස අහඹුවක් හෝ කිසිවෙකු විසින් නිර්‍මාණය කරන ලද්දක් නොවන බව කාල් මාක්ස් පෙන්වා දුන්නේය. ඔහුගේ දෘෂ්ඨියට හසු වූ සමාජ සංවර්ධන ක්‍රියාවලියේ තවත් ඉහල අදියරක් ඔහු ජීවත් වූ වකවානුවේදී ම සමාජ සංස්ථාව තුල පැන නැගුණි. කෙටි කාල පරිච්ඡේදයකට සීමා වුවද, 1871වර්ෂයේදී පැරිස් නගරයේද ප්‍රකාශයට පත්වූ මේ සමාජ ප්‍රකාශනය අද ද විග්‍රහයට බඳුන් වන කම්කරු පංති දේශපාලන බලයක ලක්ෂණ පෙන්නුම් කළේය.
පසු කාලීනව යම් යම් වෙනස්කම් සහිතව වුවද එම දේශපාලන සංස්ථාව ලෝක ප්‍රජාව අත්දුටුවෝය. වර්‍තමානයේ ද මේ හා බැඳෙන විවිධ ස්වරූපයේ අත්දැකීම් ලබති. මේ අනුව කාල් මාක්ස් සිය නිරීක්ෂණ මත සිදුකළ, සමාජ ක්‍රමයේ ඓතිහාසික වර්‍ධනය දෘෂ්ටිවාදයක් පමණකි යැයි කිව නොහැක.
සමාජ ක්‍රියාවලියේ පැවැත්ම කිසියම් බල අධිකාරියක හෝ පුද්ගලයෙකුගේ මහිමය මත සිදුවන්නක් නොවන බව පෙන්වා දුන් කාල් මාක්ස් සමකාලීන සමාජයේ පිළිගත් ප්‍රචලිත මතවාදයන් උඩු යටිකුරු කළේය.
ලෝකයේ ප්‍රකෘතිමත් සමාජ ආර් ථික දැක්ම ලෙස සැලකෙන නව ලිබරල් චින්තනයට අද ජගත් ක්ෂේත්‍රයේ මතුවන ගැටළුවලට විසදුම් නොමැති මොහොතක මාක්ස්ගේ මතවාද වඩ වඩාත් ආලෝකයක්ව බබලයි. වත්මනෙහි මතුවන ලෝක ආර් ථික අර්‍බුදයන් තියුණු සාකච්ඡාවකට ලක් කිරීම, ඔහුගේ මාහැඟි කෘතිය වන’ ප්‍රාග්ධනය’ ආශ්‍රයෙන් සිදු කිරීමට හැකියාව තිබෙන බව ඇතැම් විද්වතුන්ගේ පිළිගැනීමයි.
මිනිස් ශ්‍රමයේ අතිරික්තය සූරා කෑම ලාභය ලෙස ගොඩනැගෙමින් ලෝක ප්‍රාග්ධනය නිර්‍මාණය වී ඇත. මෙලෙස මහා පරිමාණව එකතු වූ දැවැන්ත ප්‍රාග්ධනය මත ලෝක ජනතාවගේ ඉරණම තීන්දු වී තිබෙන බව පහසුවෙන් බැහැර කළ නොහැක. මෙය මිනිසත් බවට තර්‍ජනාත්මක අනුකම්පා විරහිත නැගී සිටීමකි. මේ යටතේ වත්මනෙහි පීඩාවට පත්වන ලෝක ප්‍රජාවගේ දරිද්‍රතාවය තීව්‍ර වී ඇත. එම විෂම ස්භාවයට නව ලිබරල්වාදය ලෙස හඳුන්වන දැක්මට විසඳුම් සෙවිය හැකිද යන ගැටලුවට සමස්ත ලෝක ප්‍රජාවම මුහුණ පා සිටිති.
අධිරාජ්‍යවාදයේ නව ක්‍රියාන්විත මගින් ලෝකය බෙදා ගැනීමේ මහා සටනකට බලවත් ජාතීහු යොමු වී සිටිති. මෙහි අතිශය අමානුෂික පැන නැගීම ගාසා තීරයේ මතු වී මැද පෙරදිග කලාපයේ විහිදී යයි. සමස්ථ ලෝකය පුරා මෙහි ගිණි සිළු නිවි නිවී දැල්වෙමින් තිබේ.
මේ අතර ආසියානු, අප්‍රිකානු හා ලතින් අමෙරිකානු රටවල පීඩාකාරිත්වය තියුණු ස්වරූපයක් ගෙන ඇත. එම රටවල ජනතාව ජීවත් වීමේ බරපතල අභියෝගයකට මුහුණ දෙන අතර ණය බරින් මිරිකී සිටිති. මේ අතර ලෝකයේ ඇතැම් මහා පරිමාණ ව්‍යාපාර මුහුණ දී සිටින්නේ සිය ලාභ ලාභාංශ පහල යාමේ තර්‍ජනයකටය. මෙය නව ලිබරල්වාදයට එල්ල වී ඇති බලවත් විවේචනයකි. ගෝලීය ධනේශ්වරයේ විහිදීම කුමන පැතිකඩක් වෙත ගමන් කරයි ද යන පැනය මෙහිදී මතු වේ.
ලෝකයේ දියුණු රටවල කෘෂි නිෂ්පාදනවල නිෂ්පාදන පිරිවැය සීඝ්‍ර ඉහල යාමකට ලක්ව තිබේ. යුරෝපයේ ගොවි ජනතාව දැවැන්ත විරෝධතාවලට යොමු වී සිටිති. ඉන්දීය ගොවි ජනතාව අතර ද නොසන්සුන්තාවයන් වර්ධනය වෙමින් පවතී. මෙම බොහෝ රටවල් පෙරට දැමුවේ ජාතික ආර් ථිකය යටතේ නැගී සිටිය යුතුය යන සංකල්පයයි.
මෙම ආර් ථික රටාවේ බියකරු මතුවීම් ඉන්දීය සයුර හරහා පැන නැගෙමින් තිබේ. දකුණු ඉන්දීය මුහුදේ යුධ අභ්‍යාසයන් එම කලාපයේ පමණක් නොව ලෝක ප්‍රජාවගේ අවධානයට හසු වේ. චීන ආර් ථිකයේ ප්‍රසාරණය සමස්ථ දකුණු හා අග්නිදිග ආසියානු රටවල් බියෙන් තැති ගන්වයි. මේ දියත් වන්නේ වාණිජවාදී ආර් ථිකයේ සහාසික ක්‍රියාන්විතයයි. මෙවැනි ස්වභාවයක් ගොඩනැගී තිබෙන පසුබිමක මාක්ස්ගේ අදහස් උදහස් තියුණු අධ්‍යනයකට ලක් කිරීමේ අවස්ථාව මතුවී තිබෙන බව පැහැදිලිය.
දර්‍ශනවාදයේ දුගී බව, නිදහස් වෙළදාම පිළිබඳ දේශනය, ප්‍රංශයේ සිවිල් යුද්ධය වැනි ඔහුගේ අගනා ලියැවිලිවලින් හෙළිවන කරුණු මුලුමනින්ම බැහැර කළ හැකිද? යන්න නැවතත් අධ්‍යනයට ලක්වෙමින් තිබේ. කාල් මාක්ස්ගේ නොදැවුණු ද්විත්ව ශතකයේ කාල පරිච්ඡේදය තුළ ලෝකය ඉදිරියට ගමන් කරමින් සිටීම වැදගත් සංසිද්ධියකි.
මොරටුවේ, ප්‍රියන්ත සිල්වා.